අනුරාධපුර නිෂ්පාදන අපනයනයට විධිමත් සැලස්මක් සකස් කිරිමට පියවර
=====================================================
අනුරාධපුර දිස්ත්‍රික්කය තුලින් අපනයනය නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිය දා පැවැත්විණි. අපනයන සංවර්ධන මණ්ඩලය මගින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳව හා අපනයන සංවර්ධන මණ්ඩලයේ ව්‍යූහය මෙන්ම ප්‍රාදේශිය සංවර්ධන අංශය පිළිබඳව පැහැදිලි කරීම මෙහිදී සිදුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන මහචාර්ය සේන නානායක්කාර , සුසන්ත කුමාර නවරත්න , භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන් මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී. ධර්මසේන, දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදි කතා කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කළේ, මෙවර විමධ්‍යගත වැඩසටහනින් අනුරාධපුර දිස්ත්‍රික්කයට ලැබී ඇති මුදල් හා ප්‍රදේශයේ සම්පත් යොදාගනිමින් දිස්ත්‍රික්කයේ අපනයනය තුන්ගුණයකින් වැඩිකිරිම බලාපොරොත්තුව බවයි. පුටු , තහඩු බෙදීමේ සංස්කෘතියෙන් මිදී තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම උදෙසා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද මෙහිදී මන්ත්‍රීවරු සඳහන් කලහ.
දිස්ත්‍රික්කයේ අපනයන සංවර්ධනයේ විභවතාවයන් හඳුනාගැනීම හා ඊට අදාල විධිමත් සැලැස්මක් සකස්කරගැනීමට මෙහි දී අපේක්ෂා කෙරේ. එහිදී දිස්ත්‍රික්කයේ හදුනාගත් ව්‍යවසායකයින්ගේ මට්ටම පරික්ෂා කිරිමට පියවර ගනු ඇති. මේ සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද හරහා තෝරාගත් ව්‍යවසායකයින් ලියාපදිංචි කිරීමට නියමිතයි. ව්‍යවසායකයින් තෝරා ගැනීම හා අවශ්‍ය අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම පහසු කරගැනීම වෙනුවෙන් එක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකින් නිලධාරීන් දෙදෙනෙකු තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පුහුණු ලබාදීම ද ඉදිරියේ දී සිදු කරන බව රැස්වීමේ දී අනාවරණ විය.
මේ අනුව පෙබරවාරි මස 28 වනදා වන විට ව්‍යවසායකයින් තෝරාගැනීම අවසන් කළ යුතු වේ. පසුව මාර්තු මස 15 වනදා වන විට අපනයන සංවර්ධන ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කිරිමට ද නියමිතව ඇත.
රැස්වීමේ පැවැති සාකච්ඡාවට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ බහුල වශයෙන් අපනයන මට්ටමේ පවතින්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනයන් බව අනාවරණ කරගත් අතර එහි දී කතා කළ අනුරාධපුර දිසා ලේකම් රංජිත් විමලසූරිය මහතා කියා සිටියේ , කෙසෙල් , අඹ,කුරුඳු , ගම්මිරිස් , වට්ටක්කා වැනි බෝග අපනයනය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරිම ඉතා වැදගත් වන බවයි.
පැමිණි නිලධාරින් විසින් සඳහන් කළේ , අපනයන සංවර්ධන මණ්ඩලයට අදාල නිලධාරින් ප්‍රාදේශිය මට්ටමින් නොමැති නිසා , ව්‍යවසායකයින්ට තම නිෂ්පාදන අපනයනයේ දී නිශ්චිත නිසි ක්‍රමවේදයක් පිලිබඳව තවමත් නිසි අවබෝධයක් නොමැති බවයි. එම නිසා ඉහළ ලාභයක් ලැබෙන මට්ටමින් මෙම ව්‍යවසායකත්වය දියුණු කිරිම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහය අත්‍යවශ්‍ය බව ද නිලධාරින් විසින් සඳහන් කරනු ලැබී ය.
දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ කාර්යාලය මගින් සම්බන්ධිකරණය කළ මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශිය සංවර්ධන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ , ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් , අන්තර් පලාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ , යන නිලධාරීන් මෙන්ම කුඩා ව්‍යාපාර , ජාතික ශිල්ප සභාව , ජල ජීවී වගා ව්‍යාප්ති කාර්යාලය , පොල් වගා කිරිමේ මණ්ඩලය , කජු සංස්ථාව , කාර්මික සංවර්ධන මණ්ඩලය , පසු අස්වනු තාක්ෂණ ආයතනය , ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය , ඇතුළු ආයතන ගණනාවක නිලධාරින් පිරිසක් සහභාගී වූහ.










