අනුරාධපුර උතුරු පානීය ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියර ජපාන තානාපතිවරයාගේ නිරීක්ෂණයට
==================================================
ජපන් රජයේ ජයිකා ආයතනය හා ශ්‍රි ලංකා රජයේ සහයෝගී ව්‍යාපෘතියක් ලෙස ඉදිකරන ලද අනුරාධපුර උතුරු පානීය ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියරේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ජපාන තානාපති Akio ISOMATA මහතා අද (10) දින එම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකවක නිරත විය. අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය , ව්‍යාපෘති අධ්යක්ෂ සුදත් රත්නායක , මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී වූහ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධික්ෂණය යටතේ යි.
මෙම පානිය ජල පිරිපහදු මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ මහකනදරාව ප්‍රදේශයේ යි. වකුගඩු රෝග ව්‍යාප්තිය බහුලව ඇතැයි හදුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම මෙම ව්‍යාපෘතියේ ප්රධානතිම අරමුණයි. ඒ අනුව පළමු අදියරේ දී රඹෑව හා මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් හි 115,600 ක පිරිසකට පානීය ජලය සැපයීම සිදුවේ. ඒ නව ජල සබඳතා 2500ක් ද සහිතවයි. මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය සඳහා ජලය ලබාගන්නා මූලාශ්‍රය වන්නේ මහකනදරාව ජලාශය යි.
ව්‍යාපෘතිය සඳහා ජපන් රජයෙන් ජපාන යෙන් මිලියන 5166 ක් හා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 2789 ක් වැය කර ඇත. ජල පිරිපහදු මධ්‍යස්ථානයක් , පොම්පාගාර තුනක් , ජල කුළුණු , නිල නිවාස ඇතුළු අංග ගණනාවකින් සමන්විත මෙම ව්‍යාපෘතියෙහි වැඩ 99% මට්ටමකට අවසන්කර තිබේ. එය වීවෘත කිරිම පසුගිය වසරේ දී සිදුවිය.
ජල පිරිපහදු මධ්‍යස්ථානයෙ ක්‍රියාකාරීත්වය පිලිබඳව පැහිදිලි කළේ , එහි අධ්යක්ෂ සුදත් රත්නායක මහතා යි. ව්‍යාපෘතිය නිරික්ෂණය කිරිමෙන් අනතුරුව අදහස් දැක් වූ ජපාන තානාපතිවරයා කියා සිටියේ , මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා සේම එයින් ජනතාවට සුවිශේෂි සේවාවක් ඉටු කිරිම ඉතා වැදගත් බවයි. එමෙන්ම එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිතර සොයා බලන බව ද තානාපතිවරයා සඳහන් කළේ ය. ව්‍යාපෘතිය සාර්ථකව අවසන් වීම පිළිබඳව තමන් සතුටට පත්වන බව ද ඒ මහතා කීය.
මෙම ව්‍යාපෘතිය සේම , ජපන් තාක්ෂණය පදනම් කරගෙන විධිමත් කෘෂිකාර්මික ක්‍රියාවලියක් පවත්වාගෙන යාම සඳහා ඉදිරියේ දී මහ කනදරාව ජලාශයේ ඇල මාර්ග පද්ධතිය නවීකරණය කිරිමට ජපන් රජයට සහය විය හැකි නම් එය ඉතා වටිනා කටයුත්තක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා කී ය.
වකුගඩු රෝග ව්‍යාප්තිය බහුලව පවතින බව හදුනාගෙන ඇති ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානිය ජලය සැපයීම සඳහා ජපන් රජයෙන් මෙම ව්‍යාපෘතිය සිදුකිරිම සම්බන්ධයෙන් ජපන් රජයට ස්තුතිය පුදකරන බව මෙහිදී කතා කළ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේ ය.
මෙම ජල ව්‍යාපෘතිය සඳහා මහකනදරාව ජලාශයෙන් ජලය ලබා ගැනීම හේතුවෙන් වගාවන් සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවන බව ගොවි සංවිධාන නියෝජිතයන් සඳහන් කරයි. මොරගහකන්ද ව්‍යාපෘතියෙන් මහකනදරාව ජලාශයට ජලය ලබාගැනීමට ඉදිරියේ දී සැලසුම් කර තිබේ. එතෙක් පාලනයකින් යුතුව මෙම කටයුතු සිදුකිරිම බලාපොරොත්තුව යි.
ජපන් තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක්, ව්‍යපෘතිය භාර නිලධාරින් , මහකනදරාව ගොවි සංවිධානයේ නියෝජිතයින් , ජල පාරිභෝගික පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.













