අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම
==============================
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගිය 15 වන දින කමිටුවේ සම සභාපතිවරුන් වන , වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අංශයේ සැලසුම් අධ්යක්ෂ සුගත් නයනානන්ද මහතා සහ එම අංශයේ නිලධාරීන් විසින් මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම සංවිධානය කර තිබිණි.
රැස්වීමේදී පළමුව පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා වූ ගැටලු සහ ප්‍රගතිය පිළිබඳව සවිස්තරාත්මකව සමාලෝචනය කෙරිණි. එහිදී මේ වන විටත් විසඳුම් ලබා නොදුන් ඇතැම් ගැටලු පවතින බව හඳුනාගත් අතර, ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසීමද සිදු කෙරිණි.මෙවර කමිටු වාරය සඳහා ඉදිරිපත් කර තිබූ ගැටලු සහ විවිධ කරුණු රැසක් සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.ග්‍රාමීය හා ප්‍රාදේශීය සංවර්ධන කටයුතු යටතේ ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රිතව පවතින ගැටලු, ප්‍රජාශක්ති වැඩසටහනේ ඉදිරි පියවර, මාර්ග සංවර්ධන කටයුතු කඩිනම් කිරීම ඇතුළු කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
තවද ගොවිජන සේවා හා වගා ව්‍යාපෘති ප්‍රවර්ධනය, වනජීවී සහ සංචාරක ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇති කිරීම සඳහා වන සැලසුම්, අලි වැට ඉදිකිරීම හා අලි කොරිඩෝ වෙන් කිරීම, ප්‍රදේශයේ පූජාභූමි ආශ්රිත සංවර්ධන කටයුතු විධිමත් කිරීම, නැවත පදිංචි කිරීම හා ඉඩම් ආශ්රිත ගැටලු, දිට්වා ආපදා තත්ත්වය සම්බන්ධ පසු විපරම් කටයුතු, මහජන ආරක්ෂාව මෙන්ම ප්‍රදේශ කිහිපයක පවතින දුරකතන සංඥා හා අන්තර්ජාල සේවාවල දුර්වලතා පිළිබඳවද සාකච්ඡා කළේ ය.එහිදී විශේෂ අවධානයක් යොමු වූයේ වාරි මහිම ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන වැව් ප්‍රතිසංස්කරණ, ඇළ මාර්ග සංවර්ධනය සහ වැව් බැමි ආශ්රිත ආරක්ෂණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳවය.එසේම අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ කෙරෙහිද වැඩි අධානයක් යොමු විය.
අධ්‍යාපන ක්ෂේත්රයේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සහ මේ වන විට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 66ක් භෞතිකව සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති සකස් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාදීමේ අවශ්‍යතාවත් අදාළ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලදී.එමෙන්ම දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා විවිධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද මෙහිදී සඳහන් කෙරිණි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පසුගිය මාසය පුරා සම්මන්ත්රණ මාලාවක් පවත්වා ඇති අතර, ඉදිරියේදී ද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් විය. උසස් පෙළ දරුවන් සඳහාද එවැනි වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය සමඟ එක්ව විවිධ ප්‍රායෝගික වැඩසටහන් සංවිධානය කර ඇති බවද අධ්‍යාපන අංශයේ නිලධාරීහු පෙන්වා දුන්හ. මෙවර පළාතක් ලෙස ශිෂ්‍යත්ව විභාග ප්රතිඵලවල ඉහළ යෑමක් දක්නට ලැබීම සතුටට කරුණක් බවද ඔවුහු සඳහන් කළහ.
සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව මූලික රෝහල් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවද මෙහිදී අනාවරණය විය. එමෙන්ම ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍යවරුන්ගේ හිඟය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයට බලපාන ගැටලු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපරාධවල අඩු වැඩි වීමක් සාපේක්ෂව දක්නට ලැබෙන බවයි. ඇතැම් අපරාධකරුවන් තමන් සිදු කළ වැරදිවලින් පසුව නීතියෙන් සැඟවී සිටීම සඳහා වෙනත් ප්‍රදේශවලට ගොස් පදිංචි වීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවද පොලීසිය පෙන්වා දුන්නේය. එවැනි පුද්ගලයන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සොයා බැලීම් සිදු කරන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ගෙන් පොලීසිය ඉල්ලීමක්ද කළේය.
මෙම කරුණු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී අදාළ විෂය ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කළ අතර, සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳවද කමිටුව දැනුවත් කරන ලදී.මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ යෝජිත සියලු කාර්යයන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බවයි. තම තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු කරන ලෙසත්, ප්‍රතිපාදන වෙන් කර ඇති ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත සිය කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවද ඒ මහතා පැවසීය. කමිටු රැස්වීම සඳහා සහභාගී වූ සියලු නිලධාරීන් වෙත සිය ස්තූතියද පළ කළේය.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය සේන නානායක්කාර, සුසන්ත කුමාර නවරත්න, තිළිණ සමරකෝන් සහ නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත් යන මහත්වරුන්, අනුරාධපුර නගරාධිපති එන්. කරුණාරත්න මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයන්, පලාත් ප්‍රධාන ලේකම් රංජන ජයසිංහ , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා, , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සන්ධ්‍යා අබේසේකර මහත්මිය, ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන හා අංශ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.






භූ සම්පත් කැණීම් පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවයි.
=========================================
ඒකීය ගාස්තු අය කිරීම හා භූ සම්පත් කැණීම පිළිබඳ දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිහිටුවීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.09.04 දින අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මූලිකත්වයෙන් සිදුවිය.
මෙහි මූලික විෂය පථය හා අරමුණු ලෙස කළුගල්, බොරළු, පස්, වැලි සහ මැටි කැණීම්, ප්‍රවාහන හා වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම මෙන්ම සියලු නියාමන ක්‍රියාමාර්ග, අනුමැතීන් හා තීරණ 2009 අංක 66 දරන පනතින් සංශෝධිත 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත සහ ඒ යටතේ සාදන ලද රෙගුලාසිවලට අනුකූලව සිදු කිරීම හඳුනාගෙන තිබේ.
මෙහිදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ලේඛකාධිකාරී (ඛනිජ හිමිකම්) පී.ආර්. ධනංජය සිල්වා මහතා විසින් දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එහි දී දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුවේ සංයුතිය, කාර්යභාරය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව සවිස්තරාත්මකව දැනුවත් කිරීම සිදු කෙරිණි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා කමිටුවේ සභාපතිවරයා ලෙසත්, ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා සම්බන්ධීකාරකවරයා ලෙසත් කටයුතු කරනු ලබන අතර, මධ්‍යම පරිසර අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ශ්‍රී ලංකා පොලීසිය නිත්‍ය සාමාජික ආයතන ලෙස කටයුතු කරනු ඇත.
එමෙන්ම අවශ්‍යතාව මත ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවල නිලධාරීන් කමිටුව වෙත කැඳවීමට කමිටු සභාපතිවරයාට බලතල හිමිවන බවද මෙහිදී පැහැදිලි කරන ලදී. කමිටුවේ ප්‍රධාන කාර්යභාරයන් ලෙස අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීම, නව කැණීම් ස්ථාන හඳුනා ගැනීම, පාරිසරික ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ මහජන විරෝධතා සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු කරුණු පිළිබඳවද අවධානය යොමු කරනු ලබයි.මීට අමතරව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලය පිළිබඳවද හැඳින්වීමක් සිදු කෙරුණු අතර, එම කාර්යාලය මගින් නිකුත් කරනු ලබන කාර්මික කැණීම් බලපත්‍ර, ශිල්පීය කැණීම් බලපත්‍ර, වෙළෙඳ බලපත්‍ර සහ ප්‍රවාහන බලපත්‍ර ඇතුළු බලපත්‍ර වර්ග පිළිබඳව දැනුවත් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, ඛනිජ සම්පත් සැපයීමේ ක්‍රියාවලිය ඇතැම් අවස්ථාවලදී ව්‍යාපාරික හා දේශපාලනික අරමුණු සඳහා භාවිත වන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි. එබැවින් අදාළ කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය නිසි අවසර ලබා ගැනීමත්, අදාළ පාර්ශව විසින් සම්පූර්ණ කළ යුතු කාර්යයන් නිසි පරිදි සම්පූර්ණ කිරීමත් අත්‍යවශ්‍ය බව ඒ මහතා අවධාරණය කළේය. පවතින ඇතැම් ගැටලුකාරී තත්ත්වයන්ට හේතුව එම ක්‍රියාපටිපාටීන් නිසි පරිදි අනුගමනය නොකිරීම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඛනිජ සම්පත් නිසි කළමනාකරණයක් සහිතව ලබා ගැනීම මෙම කමිටුව හරහා විධිමත්ව සිදුකර ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් නිසි අධීක්ෂණයකින් යුතුව කටයුතු කරමින් දායකත්වය ලබාදිය යුතු බවද ඒ මහතා පැවසීය.අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා සඳහන් කළේ, ඛනිජ සම්පත් ලබා ගැනීමට හා බෙදාහැරීමට අවසර ලබාදීමේදී මහජන විරෝධතා එල්ල විය හැකි කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුව අදාළ නිර්දේශ ලබාදීම සුදුසු බවයි. එමගින් සමාජගත විය හැකි අසත්‍ය කරුණු හා වැරදි මතවාදයන් වළක්වා ගැනීමට හැකි වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම කමිටුවේ කාර්යභාරය, සංයුතිය, ක්‍රියාපටිපාටි සහ කෙටුම්පත් ඇතුළු අදාළ විස්තර කමිටුවට සම්බන්ධ අනෙකුත් පාර්ශව වෙත ලබාදීමේ අවශ්‍යතාවද දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ නියෝජිතයින්, අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර , අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කැණීම් ඉංජිනේරු ටී.එස්.එල්.සී. පෙරේරා , භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු එස්. ක්රිෂ්ණ කුමාර් , ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ අංශවල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.






අගෝස්තු මාසයට අදාල අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වෙයි.
========================================
අගෝස්තු මාසයට අදාළ අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 2026.08.18 දින වැඩබලන දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
පලමුවෙන් රැස්වීමේ දී කෘෂිකාර්මික ක්ෂේත්රයට අදාළ ව ඉදිරිපත් වී තිබූ ලිපි හා කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
මෙහි දී අදහස් දැක්වූ කලාප වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එච්. ඒ. ජයන්ත ද සිල්වා මහතා අනුරාධපුර කලාපය තුළ පවතින මහා වාරි ව්‍යාපාර 14ක් සහ මධ්‍ය වාරි ව්‍යාපාර 87ක් පිළිබඳ කරුණු ඉදිරිපත් කළේ ය. එමෙන්ම මහා වාරි ව්‍යාපාරවල ජල ධාරිතාව, වගා වපසරිය සහ වර්තමාන ජල තත්ත්වය පිළිබඳව ද මෙහි දී පැහැදිලි කෙරිණි.
2026 යල කන්නයේ අස්වනු නෙළීමේ ප්‍රගතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒ සඳහා වෙන් කර ඇති වැය ශීර්ෂ පිළිබඳව ද වාරිමාර්ග අධ්යක්ෂවරයා විසින් අදහස් දක්වන ලදි. එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ ආශ්‍රිතව අනුරාධපුර, පදවිය සහ රාජාංගනය කොට්ඨාසවල සිදු කළ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරිණි.
එල්-නීනෝ තත්ත්වය හමුවේ ජලාශවල මේ වන විට පවතින ජල ප්‍රමාණය සම්බන්ධයෙන් යම් සෑහීමකට පත්විය හැකි බවත්, ඉදිරි වැසි සමය එළඹෙන තෙක් පවතින ජල ප්‍රමාණය ප්‍රමාණවත් වනු ඇති බවත් ඉංජිනේරු එච්. ඒ. ජයන්ත ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂවරයා විසින් 2025/26 වර්ෂවලට අදාළ ජාතික වී නිෂ්පාදන යාය වැඩසටහන සහ අන්තර් පළාත් සම්බා වී ප්රභේදවල වගා වපසරිය පිළිබඳවද කරුණු ඉදිරිපත් කළේ ය.
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉදිරි මහ කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 2,000ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර ඇති බව දැනුම් දෙන ලදි. ඒ සඳහා පිහිටුවා ඇති බඩ ඉරිඟු නිෂ්පාදන හා අලෙවි සමූපකාර සමිති පිළිබඳවද මෙහි දී දැනුවත් කෙරිණි. එම සමිති හරහා ගොවීන්ගේ අස්වැන්න සඳහා වඩාත් හොඳ මිලක් ලබාදීම සහ නිෂ්පාදන වියදම් අවම කර වැඩි අස්වැන්නක් ලබාගැනීම අපේක්ෂා කරන බවද පැහැදිලි කළේ ය. එමෙන්ම ලොකු ළුණු සත්‍ය බීජ නිෂ්පාදනය සඳහා නව තාක්ෂණික ආදර්ශනයක් හඳුන්වාදීමට කටයුතු කරන බවද මෙහි දී ප්‍රකාශ විය.
මහවැලි H සහ H1 කලාපයන්හි කෘෂිකාර්මික ක්ෂේත්රය නඟා සිටුවීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන බවත්, කෘෂිකර්ම, පශු සම්පත්, ධීවර ඇතුළු ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති බව සහ පරිසර වැඩසටහන් ඇතුළු තවත් සංවර්ධන වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක වන බව දැනුම් දෙන ලදි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2026 යල කන්නයේ කුඹුරු ඉඩම් සඳහා පොහොර සහනාධාර ගෙවීමේ ප්‍රගතිය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ අතර, සුළු වාරිමාර්ග සහ කෘෂි මාර්ග ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන් ම 2026 වර්ෂයේ දී අලුත්වැඩියා කිරීමට යෝජිත කෘෂි මාර්ග හා සුළු වාරිමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
වී අලෙවි මණ්ඩලය මගින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ සහතික මිල පිළිබඳව දැනුවත් කරන ලදි. ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුතු වී කිලෝග්‍රෑම් එකක් සඳහා නාඩු රුපියල් 120ක්, සම්බා රුපියල් 130ක් සහ කීරි සම්බා රුපියල් 140ක් ලෙස සහතික මිල නියම කර ඇත.එක් ගොවියෙකුගෙන් උපරිම වී කිලෝග්‍රෑම් 2,500ක් මිලදී ගන්නා බවත්, වී මිටියක බර කිලෝග්‍රෑම් 50 ග්‍රෑම් 250ක් ලෙස සකස් කර තිබිය යුතු බවත් මෙහි දී දැනුම් දෙන ලදි. මිලදී ගන්නා වී සඳහා ලංකා බැංකුව මගින් ගොවීන්ගේ ගිණුම් වෙත මුදල් බැර කිරීමට කටයුතු කරන බවද සඳහන් විය. 2026 යල කන්නයේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මේ වන විට මිලදී ගෙන ඇති මුළු වී ප්‍රමාණය කිලෝග්‍රෑම් 6,044,402ක් බවද වී අලෙවි මණ්ඩලය විසින් දැනුම් දෙන ලදි.කජු සංස්ථාව මගින් මේ වන විට කජු පැළ බෙදාහැරීමේ කටයුතු වැඩි වශයෙන් සිදුකර ඇති බවත්, කජු පැළ තවාන්වල වර්තමාන තත්ත්වය පිළිබඳවත් කරුණු ඉදිරිපත් කෙරිණි.
බීජ හා බෝග සම්බන්ධ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂවරයා විසින් බිත්තර වී මිලදී ගැනීම සඳහා මේ වන විට පහසුකම් පවතින බවත්, එළවළු බීජ ප්‍රමාණවත් තොග පවතින බවත් සඳහන් කළේ ය. ගොවීන්ට කාඩ්පත් මගින් ගෙවීම් සිදුකර බීජ මිලදී ගැනීමේ පහසුකම් ද සලසා ඇති බව දැනුම් දෙන ලදි.දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ජිනාදරී ලංකා මහත්මිය විසින් 2026 යල කන්නයේ වී, අතිරේක බෝග සහ එළවළු සඳහා වන වගා ඉලක්ක හා වගා ප්‍රගතිය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා ය.මෙහි දී අදහස් දැක්වූ වැඩබලන දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මිය කියා සිටියේ ගොවීන්ට සහනයක් වන අයුරින් ඉදිරිපත් වන සියලු ව්‍යාපෘති, යෝජනා සහ ගැටලු සඳහා නිලධාරීන් සමඟ එක්ව විසඳුම් ලබාදීමට කටයුතු කරන බවයි. එමෙන්ම එල්-නීනෝ තත්ත්වය හමුවේ කෘෂිකාර්මික ක්ෂේත්රයට සිදුවිය හැකි බලපෑම් හා හානි අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහි දී සාකච්ඡා කෙරිණි.
ගොවි සංගම් නියෝජිතයින් විසින් අවශ්‍ය ස්ථානවලට අලි වැට කඩිනමින් ලබාදීම, බඩ ඉරිඟු වගාව සඳහා ගුණාත්මක බීජ සහන මිලට හා අවශ්‍ය පොහොර ලබාදීම, කුඹුරු ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීම සම්බන්ධව පවතින ගැටලුකාරී තත්ත්වය, විදේශයෙන් සහල් ආනයනය කිරීම හේතුවෙන් දේශීය වී ගොවියාට සිදුවන බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සහ අවශ්‍ය ජල මුර ලබාදීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කළහ.එල්-නීනෝ තත්ත්වය හමුවේ ජල කළමනාකරණය සම්බන්ධයෙන් ගොවීන් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙස සාප් ව්‍යාපෘතිය නියෝජනය කරමින් සහභාගී වූ නියෝජිතයා සඳහන් කළ අතර, එලෙස සංවිධානය කෙරෙන වැඩසටහන් සඳහා අවශ්‍ය ප්රතිලාභ ලබාදීමට තම ආයතනය කටයුතු කරන බවද ප්‍රකාශ කළේ ය.
කෘෂිකාර්මික ක්ෂේත්රයේ වර්තමාන ගැටලු, ඉදිරි වගා කටයුතු, ජල කළමනාකරණය, ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සහ එල්-නීනෝ තත්ත්වයට මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරමින් මෙම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්විණි.මේ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් , කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සංවර්ධන, මහවැලි, වී අලෙවි, කජු සංස්ථාව ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංගම් නියෝජිතයින් සහභාගී වූහ.






Subcategories
Meeting & GA Programme
hhgggggggggg jjjjhn





